Monday, January 4, 2016

ආදරණීය නිරෝධ,

අද දවසම මම පෑනකුයි, දින පොතයි අරන් අරන් කල්පනා කරේ ඔයා ගැන. මීට මොහොතකට කලින් ඔයාගෙ සිතුවිලි වලින් පිරිලා තිබුණ මගේ හදවතම දැන් හිස් වෙලා. හරියට මේ දිනපොතේ සුදු පාට පිටු වගේම. ඒත් මට මුකුත් නොලියා ඉන්න බෑ නිරෝධ . මොකද දැන් මම ආරම්භ කරලා ඉවරයි..ඉතින් අවසානය තෙක්ම මම ලියන්න ඕන. ඔයා වගේ අතරමඟ අත්හැරල යන්න මට බෑ.

මතකද නිරෝධ කවදාවත් පටන් ගත්තු වැඩක් ඔයා ඉවර කරේ නෑ. හැමදාම අලුත් දෙයක් කරන්න හිතුව මිසක් කරන දේ ඉවර කරන්න හිතුවෙ නෑ. ඒක මීට අවුරුදු 4කට කලින් හිතුව නම් මට මේතරම් දුකක් දැනෙන්නෙත් නැති වෙයි. ඒත් මේ දුකට මම ආදරෙයි නිරෝධ. ඉස්සර ඔයාට ආදරේ කරපු තරමටම මම මේ දුකට ආදරෙයි. මොකද තවදුරටත් ඔයා නෑ කියන එක ඒ දුක මොහොතකට හරි මට අමතක කරන නිසා.

එළියෙ හොදටම වහිනව නිරෝධ. මතකද ඔයා දවසක් කිව්වා මට වහින වෙලාවට එළියට ගිහින් බලන් ඉන්න ආසයි කියලා. එතකොට මම කිව්වා වැහි බින්දු වැටෙන වෙලාවට  විලෝ ගහක් යටට වෙලා පොලොවෙන් එන සුවඳ විදින්න ආසයිකියලා... හිතින් කොච්චරක් නම් මම ඒ වගේ සුන්දර මතක සිතුවමට නගන්න ඇද්ද... ඒ ආයෙ කවදාවත් ඒ දේවල් කරන්න නෙමෙයි කතා කරන්නවත් අපිට බැරි වෙයි...

වැස්සත් වහිනවා, විලෝ ගසුත් වැළපෙනවා, පොලොවෙන් නැවුම සුවඳකුත් හමනවා. මමත් එහෙමම ඉන්නවා.. ඒත් නිරෝධ ඔයා විතරක්.......

                                                මම සමාධි

Sunday, January 3, 2016

ආදරණීය නිරෝධ,

අදට ඔයා මගෙන් සමුගෙන මාස තුනක් වෙනවා. අද වෙනකම්ම මම ඈත අනන්තය දිහා බලාගෙන හිටියෙ හිස් අවකාශයෙ මොහොතකට හරි ඔයාව දිස්වෙයි කියලා. ඒත් දැන් ඉතින් මම දන්නව ඔයා ආයෙත් එන්නෙ නැහැයි කියලා. අන්න ඒ හින්දමයි මම මේක ලියන්න පටන් ගත්තෙ.

දන්නවද නිරෝධ අපි කොයි තරම් කාලයක් එකට හිටියත්, මොනතරම් දෙවල් කතා කරත්, කවදාවත් මට ඔයාව තේරුම් අරන් ඉවර කරන්න බැරි වුනා. ඒ වගේම මම ඔයාව තේරුම් ගත්ත තරමෙන් අඩක්වත් ඔයා මාව තෙරුම් ගත්තෙ නෑ කියලත් මම දන්නවා. ඔයා ඒකට උත්සහ කරෙත් නෑ. ඒත් කවදහරි මේ ලිපිය කියෙව්වොත් ඔයාට තේරෙයි ඇත්තටම මම කවුද කියලා... මම ඔයාගෙන් බලාපොරොත්තු වුනේ මොනාද කියලා...

ඉතින් නිරෝධ අද ඉදන්, මේ මොහොතෙ ඉදන් මට පුලුවන් මගෙ හිතට එන හැමදේම මේකෙ ලියන්න. තවදුරටත් ඇස් දෙක රිදෙනකම් ඔයාව මතක් කර කර අඩන්න, අපේ පරන සමරු සටහන් දිහා බල බලා ලතවෙන්න මට කාලයක් නැතිවෙයි..මොකද අවුරුදු 5ක් පුරා මගේ ජීවිතේම වෙලා තිබුන ආදරේ ගැන, ලොකේ තිබුණ අමුතුම ආදරේ ගැන ලියන්න මට කාලය ඕන.

ඒත් මේක නිසා මගෙ හිතේ තියන දුක අඩු වෙයි කියල හිතන එක නම් පිස්සුවක්.. මොකද මම දන්නවා මේ පරණ මතකයන් මට එක තත්පරයක්වත් නිදහසේ හුස්ම ගන්න ඉඩ නොදෙන බව. ඒත් නිරෝධ මෙහෙම මැරි මැරී ජීවත්වෙනවට වඩා ඔයාගෙ මතකයන් සමඟ මියැදෙන එකත් මම බාර ගන්නෙ සතුටින්.....


                                     මම සමාධි